
කරූර් හි පැවති තමිලගා වෙට්‍රි කසාගම් (TVK) ප්‍රධාන නළු-දේශපාලනඥ විජේගේ රැලියේදී ඇති අධික තෙරපිමකින් එමඟින් දරුවන් කිහිප දෙනෙකු ඇතුළුව අවම වශයෙන් 39 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වන විට සිදුවීමෙන් මියගොස් ඇති පිරිස අතරට ළමුන් 10ක්, කාන්තාවන් 17, පිරිමි 12 ඇතුළු පුද්ගලයින් 39ක් අයත් බවයි.
මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 46 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ඉන් 21කගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විජේගේ මෙම රැලිය සඳහා අවම වශයෙන් පුද්ගලයින් 30,000ක් පමණ එක්ව ඇති බවත් ඔවුන් අතර සිටි පුද්ගලයින් දැඩි තදබදය මත ක්ලාන්ත වී ඇති බවත් සඳහන්.
නමුත් ඇති වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තමිල්නාඩු රජයෙන් වාර්තාවක් ඉල්ලා තිබේ.
එමෙන්ම මේ අතර තමිල්නාඩු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ විජේගේ පක්ෂය විසින් පළමුව කරුර් ප්‍රදීපාගාර රවුන්ඩ්ටානා හී රැලිය පැවැත්වීමට අවසර ඉල්ලා සිටි බවයි.
කෙසේ වෙතත් පසුගිය රැලි දෙකේදි විශාල ජනකායකත් පැමිණි බව සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයේ රැලිය පැවැත්වීමට අවසර ලබා නොදුන් බවද ඔහු පවසා ඇත.
රැලිය පෙරවරු 10.00 සිට පස්වරු 3 දක්වා පැවැත්වීමට අවසර ඉල්ලා තිබූ බවත් දහවල් 12.30 වන විට විජේ පැමිණෙන බවත් නිවේදනය කර ඇති අතර පෙරවරු 11.00 සිට සෙනග එක්රැස්වීමට පටන් ගෙන තිබුණු නමුත් ඔහු එම ස්ථානයට පැමිණ ඇත්තේ සවස 7.40ට ආසන්න වී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
එමෙන්ම මේ වන විට විජේගේ රැලිය සංවිධානය කිරීම සඳහා වගකිව යුතු පක්ෂ සාමාජිකයෙකු වූ කරුර් හී දිස්ත්‍රික් ලේකම්වරයෙකුට පොලීසිය විසින් නඩු පැවරීමටද කටයටුතු කර ඇති බව සදහන්.
මේ අතර තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වන බවයි.
එමෙන්ම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විශ්‍රාමික මහාධිකරණ විසිනුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවද ඔහු පවසා ඇත.
තවද සිදුවීමෙන් ජීවිත අහිමි වූවන්ගේ පවුල් වෙත මහ ඇමතිවරයාගේ සහන අරමුදලින් ඉන්දීය රුපියල් ලක්ෂ 10ක වන්දි ගෙවීමක් සහ රෝහල්වල දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පුද්ගලයින් සඳහා රුපියල් ලක්ෂයක වන්දි ගෙවීමටත් තීරණය කර ඇති බවත් ඔහු පවසා තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර සිද්ධිය සම්බන්ධව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද අදහස් දක්වා ඇති අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සිදුව ඇති සිදුවීම සම්බන්ධව තමන් අතිශයින්ම කනගාටු වන බවත්ය.
නමුත් මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු විජේ ට්‍රිච් ගුවන්තොටුපොල වෙත පැමිණ චෙන්නායි බලා ගුවන් යානයකින් පිටත්ව ගොස් ඇති බවත් ඉන්දීය මාධය වාර්තා කර ඇත.
එහිදී ඔහු මාධ්‍ය මග හරිමින් සහ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර ගුවන්තොටුපළේදී ඔහු සිය මුහුණ සඟවා ගමන් ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා.
නමුත් චෙන්නායි හී ගොඩබැස්වීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ තමාගේ හදවත බිඳී ඇති බවයි.