බහු විවාහ චෝදනාවට හසුවූ ඔහුගේ නඩු නිමිත්ත කිඹුලා කාලා අතුරුදන් – අවසානයේ ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න
බහු විවාහ චෝදනාවට හසුවූ ඔහුගේ නඩු නිමිත්ත කිඹුලා කාලා අතුරුදන් - අවසානයේ ලැබුණු අධිකරණ තීන්දුව මෙන්න

මේ කියන්න යන්න කතාව නම් ඇත්තටම ඔබ විශ්වාස කරන එකකුත් නැතිවෙයි. ඇත්තට මෙහෙම සිද්ධියක් වෙන්න පුළුවන්ද?
කිවුවට කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි …හැබැයි මේක ඇත්ත.. කුරුණෑගලින් ඇසෙන වෙනස්ම කතාවක් ගැනයි මේ කියන්න යන්නේ.
බහු විවාහ චෝදනාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට ඉතා දීර්ඝ කාලයක් අධිකරණය මඟහැර සැඟව සිටි පුද්ගලයකු මාරාන්තික කිඹුල් ප්‍රහාරයකට ගොඳුරුව තුවාල ලබා සිටියදී පොලිස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් ඊයේ කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
එලෙස කුරුණෑගල කොට්ඨාස වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුනේ, අධිකරණයට ඉදිරිපත් නොවී කට්ටි පනිමින් සැඟව සිටි ගම්පහ කිරිඳිවැල පදිංචි පුද්ගලයක්.
පොලිසිය පවසන්නේ බහු විවාහ චෝදනාව සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව කුරුණෑගල අධිකරණයේ නඩුවක් පවරා ඇති අතර එම නඩුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් 2006 වසරේදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබු බවයි.
එමෙන්ම මේ අතර ඉතා දිගු කාලයක් ඔහු නඩුවට ඉදිරිපත් නොවී විවිධ ප්‍රදේශවල සැඟවී සිටිමින් කාලය ගතකර ඇති බව පොලීසිය අධිකරණයට දන්වනු ලැබුවා.
ඒ අතර කාලයේදී ඔහු හොරොව්පතාන ප්‍රදේශයට ගොස් සිටියදී පසුගිය මස 28 වන දින වැවක දිය නෑමට ගිය අවස්ථාවේදී කිඹුලෙකුගේ මාරාන්තික ප්‍රහාරයකට ගොඳුරු වීමෙන් ඔහුගේ දකුණු පාදයට සහ රහස් පෙදෙසට බරපතළ හානි සිදුව ඇති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
එම සිද්ධියෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයකට පසුව අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුගේ නඩුව සම්බන්ධයෙන් වන නඩු ගොනුව සොයා ගැනීමට නොහැකි වී තිබුණා. මේ හේතුවෙන් නැවත උප නඩු ගොනුවක් සකස් කර එම නඩුව විභාගයට ගැනීමට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් මහේෂානී අමුණුගම පියවරගනු ලැබුවා.
එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කීර්ති ජී.දුනුසිංහ අධිකරණයට පෙන්වා දුන්නේ තම සේවාදායකයා සම්බන්ධ නඩු ගොනුව පස්වරු 5.00 වන තෙක්ම සොයා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.
සැකකරුට කිඹුල් ප්‍රහාරයෙන් සිදුවූ තුවාල සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ නීතීඥ දුනුසිංහ සඳහන් කළේ, තම සේවාදායකයාගේ සිරුරේ අතිශය වැදගත්ම කොටස් කිඹුලාට ගොදුරු වී ඇති බැවින් ඔහුට දැන් මුල් විවාහයෙන් මෙන්ම, බහු විවාහයෙන්ද කිසිදු පළක් නොමැති බවයි.
කෙසේ වෙතත් තවමත් තම සේවාදායකයාගේ තුවාලවල මැහුම් පවා කපා නැති බැවින් එම තත්ත්වයද සැලකිල්ලට ගෙන ඔහුට ඇප ලබා දෙන ලෙස නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එලෙස ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය පදිංචි සහතිකයද සහිත රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියම කර , නැවත නඩුව ලබන මස 21 වන දින කැඳවීමටද නියම කරනු ලැබුවා.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිස්ස විතානගේගේ උපදෙස් අනුව කුරුණෑගල කොට්ඨාස වංචා විමර්ශන ඒකකයේ සැරයන් ලක්ෂාන් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.